මැරතන් නොදුවාම පැරදීම

සිංහල බ්ලොග් මැරතන් දුවන්න දින කීපයකට පෙර සිට තමයි සූදානම් වුනේ. ඒ ඔක්කොම හදිසියේ. අළුතෙන් බ්ලොග් එකක් (සපත්තු ජෝඩුව) විවෘත කළා. ගෙදර ඉඳන් දුවන නිසා, පහසුවට ඕෆ්-ලයින් සිට ලියන්න හැකි මෘදුකාංග කීපයක්ම ගෙනාව.

එත් ඉතිං, බ්ලොග් මැරතන් එක දුවන්න වාසනාවකුත් තියෙන්න ඕනෙ කියල හිතුවෙ නෑ.

ඊයෙ රෑ 8 වෙද්දි (මැරතන් එක පටන් ගන්න නියමිත වෙලාව) බස් එකේ. ගෙදර එනකොට 9ට කිට්ටුයි. පැය 24ක් දුවන එකේ, ඕක මොකද්ද කියල මාත් වාඩි වුනා දුවන්න. සන්ටෙල් ඩයල්-අප් සම්බන්ධතාවයකින් තමයි වැඩේ කරන්න තියෙන්නෙ. ඒකත් සම්බන්ධවුනා කිසි කතාවක් නැතුව.

අවාසනාව ආවෙ එතන ඉඳලා. ඩයල්-අප් එක සම්බන්ධවුනාට මොකද, අඩවියක් දර්ශනය වෙන්න වරුගානක “විනාඩි” ගත වෙනව. මගෙ මැරතන් බ්ලොග් එකයි, මැරතන් සින්ඩිකේටරයයි වත් අඩුම තරමින් විවෘත කරගන්න ඕනෙ නිසා කාලය ගතවීම ගැන හිතුවෙ නෑ. බලං හිටියා. ඔය අතරෙ ගූගල් ටෝක් එකත් බාගෙට වගේ සම්බන්ධවුනා.

මගේ මැරතන් බ්ලොග් එකයි, සින්ඩිකේටරයයි මට ඕනෙවට වගේ ආව. එත් මගේ බ්ලොග් එකේ ගිණුමට ඇතුල් වෙන්නත්, එතැනින් නව ලිපි ලියන කොටස දර්ශනය වෙන්නත් යන කාලය, මාව මැරතන් තරඟයෙන් ඉවත් කරන්නට ක්‍රියාකළා. බලධාරීන් තීරණය කළේ, ඊයෙ රෑ මට දුවන්න සුදුසු නොවන බවයි. තවත් කාලය ගතවුණු තැන, මා උත්සාහය අත්නොහල හෙයින් දෝ, “ඉහළම” සිටින බලධාරීනුත් මට එරෙහිව නැගීසිටියා. අකුණු එක දෙක පාත්වුනා. මීට පෙරත් අකුණු සමග තරඟවැදී පැරදී තිබුණු හෙයින්, එතැනින් මගේ උත්සාහය අත්හැරීමට සිදුවුණා.

ඒ සිදුවීම් අතරතුර, බාගෙට වගේ සම්බන්ධ වුණු ගූගල් ටෝක් හරහා මට තවත් ආරංචියක් ආව. ඒ බුද්ධිකගෙන්. මගේ ලිපි සැම විටම සින්ඩිකේටරයේ ඉහළින්ම පෙනෙන බවත්, බ්ලොග් එකේ යම් සීරුමාරුවක් කිරීමට අවශ්‍යව ඇති බවත් එහි කියවුණා. මා ඊට යැවූ පිළිතුරවත් මගේ සම්බන්ධතාවය හරහා ඔහුට ගියේ දැයි සැකයි. මේ නිසා නැවත නැවතත් මගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් ගිණූමේ සැකසුම් වෙත යෑමට උත්සාහ කළත්, අත්‍යාවශ්‍යයෙන්ම කළ යුතුව තිබූ එයවත් කරගත නොහැකි වුණා. එයට පිළියමක් ලෙස මගේ බ්ලොග් එක සින්ඩිකේටරයෙන් ගවාදැමීමට අවසානයේ තීරණය කළා. එය කළ හැකි පරිපාලකවරුන්ට මේ ගැන දැන්වීමට යැයි කියා ඩනිෂ්කට කෙටිපණිවුඩයක් යැවුවා. අද දින දැනගත්තේ එම කෙටි පණිවුඩයද ඔහුට නොලැබුණු බවයි.

අවසානයේ, මා මැරතන් නොදුවාම පැරදුනු ක්‍රීඩකයෙක් බවට පත්වුණා.

Published in: on April 19, 2008 at 4:14 pm Comments (4)

යසරුවන් වෙනුවෙන්

Published in: on at 3:11 pm Leave a Comment

සංවේගයෙන් දැනුම්දීමයි – යසරුවන් ගුණතිලකගේ හදිසි අභාවය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ද, අපේ සිංහල බ්ලොග් අවකාශයේ මිතුරකු ද, බ්ලොග්කරුවකු ද වූ යසරුවන් ගුණතිලක පෙරේදා හදිසියේ මෙලොවින් සමුගත් බව මේ දැන් ආරංචි වුණෘ. ඔහු හෙට පැවැත්වෙන අපේ මැරතන් ඉසවුවට ද උද්යෝගීමත් ව සහභාගී වීමට සූදානමින් සිටි බැවින් මේ හදිසි වියෝ වීමේ පුවත අදහා ගත නොහැකි තරම් කම්පනයක් අප සැම තුළ ඇති කළා. හෙට ඔහුගේ දේහය පිළිබඳ අවසාන කටයුතු සිදු වන බව ඔහුගේ සොහොයුරු සඳරුවන් අපට ප්‍රකාශ කළා.

ඔහු අවසන් ගමන් යන හෙට දිනයේ ම රෑ 8ට ආරම්භ වන අපේ සිංහල බ්ලොග් මැරතන් ඉසවුවේ ආරම්භක සටහන් යසරුවන් වෙනුවෙන් හිස් ව තබන මෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සියලු සහභාගී වන්නන්ගෙන් ඉල්ලා සිටිනවා. “යසරුවන් වෙනුවෙන්” යන මාතෘකාව සහිත ව හිස් බ්ලොග් සටහනක් (blank post) අද රාත්‍රී 8ට මැරතන් අරඹන මොහොතේ පළ කිරීමෙන් අපේ සාමූහික ශෝකය බෙදාහදා ගැනීමට එක් වන්න.

මේ එම සිදු වීම ඊයේ දිවයින පුවත් පත වාර්තා කර තිබුණු අයුරුයි.

“අත්වැල්තොට ඇල්ලේ දියනෑමට ගිය තරුණයා සැඩපහරට හසුව මිය යයි. (දිවයින, අපේල් 17 වැනි බ්‍රහස්පතින්දාල 3 පිටුව)
- දයානන්ද ජයනෙත්ති. බදුරලිය

“අවුරුදු නෑගමි පැමිණ අත්වැල්තොට දිය ඇල්ලේ දිය නෑමට ගිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවකු එම දිය ඇල්ලේ සැඩ පහරට ලක් ව දියේ ගිලී ඊයේ (16 වෙනි දා) මරුමුවට පත් ව ඇත. මෙසේ මරුමුවට පත් ව ඇත්තේ රත්නපුර වෙරළුප පදිංචි යසරුවන් ගුණතිලක (23යි) නමැති අයෙකි.

“සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.”

මේ යසරුවන්ගේ බ්ලොග් අඩෙවියයි
http://yasaruwan.gunathilake.com

යසරුවන්… ඔබට නිවන්සුව!

Published in: on April 18, 2008 at 10:24 am Leave a Comment

අළුත් සපත්තු ජෝඩුව

මං බ්ලොග් මැරතන් එක දුවන්න ගත්ත අළුත් සපත්තු ජෝඩුව තමයි මේ. වෙනදට ලියන බ්ලොග් එකේ මැරතන් දිව්වොත් එක නාස්තිවෙයි කියල හිතුන නිසයි අළුත් සපත්තු ජෝඩුවක් ගත්තෙ. කොහොම වුනත් වර්ඩ්ප්‍රෙස් එකට අළුත් නිසා ටිකක් වෙලා ගියා හරියට සකසගන්න. දැන් බොහෝදුරට මැරතන් දුවන්න සූදානම්.

එත් දරුණු ප්‍රශ්නයක් මතුවුනා. නොකියාම බැරි නිසා ලියනව. වර්ඩ්ප්‍රෙස් හොඳයි කියල බොහෝදෙනා කියනබව දැකල තමයි මේකෙන් අළුත් සපත්තු ගන්න හිතුවෙ. ඇත්තටම සෑහෙන්න හොඳයි. පහසුයි. ඒත් සිංහල ලියන අපි කාලයක් තිස්සෙ කතා වුනු ගැටළුවක් මෙහි නිරාකරනණය කරගන්න බැරිබව පෙනුනා. (මලින්තගෙනුත් උදව් ඉල්ලුවා. එත් ඒක වර්ඩ්ප්‍රෙස් වල අඩුපාඩුවක් නිසා විසඳුමක් නෑ)

ගැටළුව තමයි, සිංහල අකුරු ප්‍රමාණයෙන් කුඩා වුනු විට කියවීමට ඇති අපහසුතාව. එය මගහරවා ගන්න අප බොහෝ දෙනා එකඟවූ විසඳුම වූයේ අකුර විශාල කර දැක්වීම. එය සාර්ථක විසඳුමක්. නමුත් වර්ඩ්ප්‍රෙස් තුළදී, තේමාවක් යොදාගත්පසු එහි අකුරු ප්‍රමාණය ආදිය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරන්නට ඉඩ දෙන්නේ නෑ. මිළක් ගෙවා නම් මේ පහසුකම ලබාගත හැකියි. මේ නිසා සිංහල අකුරු විශාල කර කියවීමට පහසු කරවීමට නම්, විශාල අකුරු ඇති තේමාවක් යොදාගන්නවා හෝ වසරකට මුදල් ගෙවනවා හෝ මිස වෙනත් විසඳුමක් නැත.

මේ සඳහා සුදුසු විසඳුමක් දන්නා අයෙක් ඇත්නනම්, දන්වනමෙන් කරුණාවෙන් ඉල්ලමි.

Published in: on April 16, 2008 at 3:51 pm Comments (7)
Tags: ,

ආයුබෝවන්!

මා මෙම බ්ලොග් අඩවිය විවෘත කළේ “සිංහල බ්ලොග් මැරතන්” දිවීම සඳහා භාවිතා කිරීමටයි. අප්‍රේල් මස 18 වැනි දින පැවැත්වෙන මැරතන් තරඟය පිළිබඳ වැඩි තොරතුරු දැනගැනීමට “සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය” වෙත පිවිසෙන්න.

Published in: on at 9:07 am Leave a Comment
Tags: